24/08/2026
'වීරයන් මිය ගියත් වීරත්වය දිගුකල් පවතී' මේ පාඨය දකින හැම මොහොතකම මගේ මතකයට නැගෙන්නේ මගේ තාත්තාව…මගේ තාත්තා, අනාගත ශ්‍රී ලාංකික පරපුරට නිදහස්, නිවහල් දේශයක් තතන්න දිවි පිදූ රණවිරුවෙක්. අද සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සතුටින්, සාමයෙන්, නිදහසේ ජීවත් වෙන්න හැකි වූයේ එවන් වීරයන් තුළ වූ වීරත්වය නිසාවෙන්මයි.
මම කෞෂික ශෙහාන්. 2025 උසස් පෙළ විභාගයට පෙනී සිට ජීව විද්‍යා අංශයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරී පත්වු ශිෂ්‍යයෙක්. මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, නංගියි. මගේ තාත්තා නමින් සරත් වීරකෝන්. ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුවේ 11 වන බළඇණියේ සේවය කල හමුදා නිළධාරියෙක්. තාත්තා යාපනය නගරයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී 2006.05.14 දින ත්‍රස්තවාදීන් විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයක් හමුවේ අනතුරට පත්ව, කොළඹ හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් ජීවිතයත් මරණයත් අතර දරුණු සටනක යෙදුනා. නමුත්, 2006.07.01 දින මව් බිම නාමයෙන් ඔහු මෙලොවින් සමු ගත්තා. තමා ලද උතුම් ජීවිතය මව් බිම වෙනුවෙන් පුද දුන් මගේ තාත්තාගේ වීරත්වය මගේ හිතේ සැමදා නොමැකී තියේවි.
තාත්තා මිය යන විට මට අවුරුදු තුනයි, නංගිට මාස පහයි. මගේ තාත්තා එක්ක මට ගොඩක් ලොකු කාලයක් ගත කරන්න බැරි වුණ නිසා මම මගේ තාත්තා ගැන අහලා තිබුණේ මගේ අම්මගෙන්, අත්තම්මාගෙන්, සීයාගෙන් සහ ගමේ අයගෙන්. ඒ අය මගේ තාත්තා ගැන ගොඩක් හොඳ කියනවා. මගේ තාත්තා ඒ කාලයේදී ගොඩක් ගමේ අය එක්ක සමාජශීලීව, මිත්‍රශීලීව ඉදලා තියනවා. ගමේ මිනිස්සු පවා මගේ තාත්තාගේ මරණයේදී ගොඩක් කම්පා වුණා කියලා මට අහන්න ලැබුණා. ඔව්... වීරයෙක් අහිමි වීම පවුලට, ගමට විතරක් නෙවෙයි මුළු මහත් රටකටම විශාල පාඩුවක්.
යුද්ධය මගේ තාත්තව නංගිටයි, මටයි අහිමි කරද්දි, අපේ පුංචි ලෝකේ එළිය වුණේ අපේ අම්මගෙන් විතරයි. තාත්තා නැති වෙද්දි අම්මා අවුරුදු 27ක තරුණ කාන්තාවක්. තාත්තාගේ ජීවිතේ රැකෙයි, තාත්තා සනීප වෙලා ගෙදර එයි කියන විශ්වාසෙන් හිත හයිය කරගෙන හිටපු අම්මට, තාත්තා නැති වුණා කියන අසුභ ආරංචිය ඇහෙද්දි හිතේ මොන තරම් ගින්දරක් ඇවිලෙන්න ඇද්ද? කිරි සප්පයෝ දෙන්නෙක් එක්ක හෙට දවසට මුහුණ දෙන්නේ කොහොමද? ඇය එදා කදුළින්ම හිත හදාගන්න ඇති. ස්වාමියා අහිමි බිරිදක් විදිහට තාත්තා නැති වුන දවසේ අපි දෙන්නාව පපුවේ හිර කරගෙන අම්මා එකම එක තීරණයක් ගන්න ඇති. මම මේ දරුවෝ දෙන්නව රජ කරවනවාමයි කියලා.
එදා පටන් අද දක්වාම පවුලේ සියලුම බර කරට අරන්, අපිව මේ දක්වා ගොඩ නගන්න අම්මා අප්‍රමාණ වෙහෙසක් දරනවා. මගේ නංගීයි, මමයි ශිෂ්‍යත්ව විභාග වලින් පාස් වෙලා ප්‍රසිද්ධ පාසල් වලට යන විට, අම්මත් අපේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවුරුදු නමයකට ආසන්න කාලයක් අපිව නුවර නේවාසිකව තියාගෙන අපගේ අධ්‍යාපනය වෙනුවෙන් අප්‍රමාණ වෙහෙසක් දැරුවා. මගේ අම්මා ඒ අවුරුදු නමයක් තුළ තමාගේ ඥාතීන්ගෙන් පවා ඈත් වෙලා පාලුවේ නේවාසිකාගාර නිවසේ පුටුවේ ඉඳගෙන අපේ සාර් ථක අනාගතය ගැන කොතරම් හීන මවන්න ඇතිද? විභාග වලට මම වෙන මහන්සියට වඩා අම්මා මටයි, නංගිටයි හොඳ අධ්‍යාපනයක් දෙන්න වුන මහන්සිය අති මහත්. මගේ අම්මාගේ එකම බලාපොරොත්තුව වුණේ අපිට හොඳ අධ්‍යාපනයක් ලබාදීලා සමාජයේ හොඳ පුරවැසියන් කරන එක.
අම්මා මං තුලින් හරි ලස්සන හීනයක් දැක්කා. මං පුංචි කාලේ අම්මා මට කියනවා ‘මගේ පුතා ලොකු වෙලා ඩොක්ටර් කෙනෙක් වෙන්න… මං එන්නම් පුතාගෙන් බෙහෙත් ගන්න’ කියලා. ටික ටික ජීවතේ තේරෙනකොට ඒක මගෙත් හීනේ වුණා. අද මං අම්මාගේ ඒ බලාපොරොත්තුව ඉටු කරන්න වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබාගෙන තියනවා. ඒ ගැන මට නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. මං වගේම මගේ නංගිත් අධ්‍යාපන කටයුතු හොදින් කරගෙන ඉදිරියට එනවා. අපේ සාර් ථකත්වය දැක දැක අම්මා සතුටු කදුළු හෙලනවා මං දැන් දකිනවා. අම්මා ජීවිතේ අපි වෙනුවෙන් කරපු කැපකිරීම් වලට මං හැමදාමත් මගේ අම්මට ණයගැතී.
අම්මා වගේම තරුණ වයසෙදි ස්වාමියා අහිමි රණවිරු බිරින්දෑවරු මේ ලංකාව තුල තව කොච්චර නම් ඇද්ද? එවන් උතුම් මව්වරු අපි වගේ දරුවන් මේ සමාජයට වැඩදායි ලෙස ගොඩනගමින් අදටත් නිහඬ සේවයක් කරනවා ඇති. එවන් උතුම් මව්වරුන්ටත්, වීර පුතුන් බිහි කර මව් බිම රකින්න පුද දුන් මව් පිය වරුන්ටත් මගේ ගෞරවණීය උත්තමාචාරය හිමි වේවා!
රට වෙනුවෙන් කැප වුන මගේ තාත්තා වගේම, අපි වෙනුවෙන් කැප වුන මගේ අම්මා වගේම මමත් මේ රටට වටින සේවයක් කරන්න කැප වෙනවා.